වචන වලට නොහැරුනු සිතුවිලි සමුදායක්,

අකුරුත් සමග කරන සංවාදය !!

Thursday, October 23, 2014

විභාගේ ඉවරයි. මම ගෙදර යනවා.

දුම්රියේ සිට ලියමි.
පෙරදා රාත්‍රියේ සංගිතය සහ පරිඝනක ක්‍රීඩා කිරීම හේතුවෙන්, එක මොහොතක් වත් මා දෙනෙත පියවුනේ නැත. ඒ කාරනය හේතුකොටගෙනා මාගේ දෙනෙත් පියවෙන්නට හිතුවක්කාරකම් කරන්නේ පෙරදා එයට නොලැබුනු සුවය සොයමිනි. මා ටික වෙලාවක් යනතුරු ඒ හිතුවක්කාරකමට ඉඩ නොදුන්නේ, මා ලැප්ටොප් පරිඝනකය දැමු බෑගය දුම්රියේ, රැක් එකෙහි මා ස්ථානගත කර තිබූ හෙයිනි. මා එය ගැන අවධානයෙන් සිටිය යුතුව තිබුනි. එහෙත්, එක් මොහොතක මට ඒ හිතුවක්කරකම ඉදිරියේ පරාජය වන්නට සිදුවුනි. එනමුදි මාගේ දැස් ඇරෙන සෑම මොහොතකම මාගේ අවදානය ඒ බෑගය කරා යොමුවිය. ඒ අයුරින් ගමනේ වැඩි කාලයක් නින්දට සමීප වීමට මට හැකිවිය. දුම්රිය ගමනා ගමනය සදහා යොදාගැනීම ශරීරයට මෙන්ම සාක්කුවට ද වාසිදායක විය. පාරේ බස් එකේ පිටකොටුවේ සිට ගාල්ලට රු.150/= ක් වූ අතර, දුම්රියේ ටිකට් එක රු.100/= ක් පමනි. ගෙදර යා යුතුයැයි තීරනය මා අද උදයේ පහට පමන තීරනය කලෙමි. මරදානෙන් 8.10ට දුම්රිය අල්ලාගැනීමට පැමිනියත් වාහන තදබදය නිසා සුනංගු වීම හෙතුවෙන්, කොටුවෙන් දුම්රියට ගොඩ වීමි.

මම නිතර ගෙදර ගියේ නැත. Homesick කියන රෝගය මා හට නොමැති වීම ඊට හේතුව විය හැක. ඉදලා හිටලා හේතුවක් ගෙදර ගිය මා, ඒ අවස්ථා බොහෝමයකදී ම මගේ සහෝදරයා නිවාඩු පැමිනීම හේතුවෙන් ගෙදර ගියෙමි. නිතර ගෙදර යා යුතු යයි ආකල්පයක් මා තුල නොතිබුනි. Uniයේ වැඩ වලට හිරවුනු පසු කොහොමත් ඒ සදහා මට අවසර ලැබෙන්නේ නැත. ගාල්ල කඩුවෙල යා කරමින් අධිවේගී මර්ගයක් තිබූ බව සැබෑය. එහෙත් අප වැනි පුද්ගලයින් සදහා, එහි පහසුවට පුරුදු වීම එතරම් සාක්කුවට සුබදායී නොවුනි. ජිවිතයේ බොහෝ සැප පහසුකම් ලැබුනු අවස්ථාවලද, එම සැප පහසුකම් ලැබීමට මා සුදුස්සෙකුදැයි සිතේ ඇතිවුන සැකයන් නිසා ඒවා අතහැරපු අවස්ථා මා හට ඇත. එය දැන් පුරුද්දක් බවට පත්වී හමාරය. 'පහසුව' මා ලැබීමට සුදුස්සෙක් නොවේ නම්, මා දුක වැලඳගත යුතුය. ඒ සමග සටන් කිරීම මගේ වගකීමකි. වෙන කෙනෙකුට බරක් වී සැප ලැබීමට මට අයිතියක් නැත. මා මනසේ ඇදී ඇති මෙවන් රූප, අධිවේගී මාර්ගය මගහැරීමට හේතුවන්නට ඇතයි මා සිතමි. එය මා භාවිතා කලේ ඉතා අත්‍යවෂ්‍යම කරුනකදී පමණි. එපමනක් නොව, දුම්රිය භාවිතයෙන්ද නිතර ගෙදර යෑම මම පුරුද්දක් කර නොගත්තෙමි. එයට හේතුව, එයට ගතවන කාලය සහ මුදලයි.

දුම්රිය ගමන සදහා අද වෙනදාට වඩා වැඩි වෙලාවක් ගතවිය. පසුවන හැම Station එකක් පාසාම, ගමනේ ගමනාන්තයට ලාගාවීමේ සියුම් සතුටක් සිතේ ලැගුම් ගනී. අඩි 20යි 20, බෝඩිම් කාමරයක සිරවී සිට, ඕනෑම පිස්සුවක් කෙලින්න තරම් ඉඩ තියෙන තැනකට යන සතුට උද්‍යෝගය වැඩි කරයි. මේ සතුට මා ලබන්නේ කලාතුරකිනි. එම නිසා මා හට එහි වටිනාකම වැඩිය. ගමනාන්තය කරා ලංවනවාත් සමගම, මා පාසල් යන කාලයේ ගැවසුනු තැන්, ගිය පන්ති, වල බැස්ස ස්ථාන මා නෙත ගැටෙන්නට විය. තව දුරටත් ආසනයේ රැදී සිටිම මට අපහසු විය. මා අතේ තිබූ ගිටාරය පැත්තකට හේත්තුකොට ෆුට්බෝඩ් එක කරා මා පියමැන්නේ, ආවර්ජනය වන පැරනි මතක වලට තව ශක්තියක් දීමේ අරමුනෙනි. රේල් පාර දෙපැත්තේ, ලව් ලේන් එකේ, කුනු ඇල පාරේ, ඇවිදන් යන පොඩි කොල්ලො කෙල්ලො දකිනකොට මොහොතකින් ඒ කාලෙට යනවා. ඒ කාලේ මේ අය වගේම රස්තේ ගහපු හැටි මතක් වෙනවා. මේ පාරවල් වල කොච්චර නම් කිසිම හේතුවක් නැතුව ඒ දවස් වල ඇවිදින්නට ඇද්ද. මේ රේල් පාරවල් උඩ කොච්චර නම් වල බහින්න ඇතිද.
 නිදහස් අධ්‍යාපනයේ පහසුකම් බුක්ති විදපු ඒ කාලේ, ජීවිතේ ගැන හුගක් සැහැල්ලුවෙන් හිතන්න අවසර තිබුනා. ඒත් ඒ කෙලපූ පිස්සු, දැන් කෙලින්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. පොඩි එවුන් වගේ හැමදාටම ඉන්න බෑ.
ඒ මතකයන් අතරේ මම අතරමං වෙනකොට කෝච්චිය Platform එකටත් ගහනවා. ජීවිතේ ගෙවිලා යනවා. නවත්වන්න බෑ. අන්තිමට ඉතුරු වෙන්න මතකයන් ටිකක් විතරයි.
මම බෑග් එකයි ගිටාර් එකයි අරගෙන කෝච්චියෙන් බැහැලා ගෙදර යන්න පිටත් උනා.

No comments:

Post a Comment